Header Ads

චෙන්නායි පිතිකරුවෝ අවසන් පන්දුවාරයෙන් ‘රසල්ගේ’ ප‍්‍රහාරයේ වාඩුව ගනියි..

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 5 ක් පමණක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. 19 වැනි ඕවරයේ පස්වැනි පන්දුව හයේ සීමාවට ඉහළින් යැවූ රවින්ද්‍ර ජදේජා චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 56 ක් රැස්කළ සෑම් බිලිංග්ස් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි (25) සමග එක්ව පන්දු 30 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බිලිංග්ස් සමත්වූ අතර චෙන්නායි කණ්ඩයමේ පිතිකරුවකු ලැබූ වේගවත්ම තෙවැනි අර්ධ ශතකය ලෙසද බිලිංග්ස් ගේ එම අර්ධ ශතකය වාර්තා අතරට එක්විය.

ෂේන් වොට්සන් (42) සහ අම්බටි රයිඩු (39) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දැවැන්ත ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 19 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 26 කදී වාර්තා වූ රයිඩුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඔන්ඩි්‍ර රසල්ගේ ප්‍රවේගකාරී ඉනිම හමුවේ කඩුලු 6 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තේය.

කොල්කටා ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඔන්ඩි්‍ර රසල් පන්දු 36 කදී දැවැන්ත හයේ පහර 11 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 88 ක් රැස්කිරීමට සමත් විය. ඉනිමේ අවසන් පන්දුවට ඔහු ගැසූ හයේ පහරත් සමග කොල්කටා පිලට ලකුණු 200 සීමාව ඉක්මවා යෑමේ අවස්ථාව හිමිවිය.රසල්ගේ එම ඉනිම අයි.පී.එල් ඉතිහාසයේ 07 වැනි පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වු අතර මීට පෙර එම වාර්තාවු හිමිවුයේ පළමු තරගයේ මුම්බායි පිළට එරෙහිව ලකුණු 68ක් ලබාගත් බ‍්‍රාවෝ හටයි.

රොබින් උතප්පා හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, ක්‍රිස් ලයන් හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා රසල්ට අනගි සහායක් දුන්හ. නායක දිනේෂ් කාර්තික් පන්දු 25 කදී ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනිඑහිදී චෙන්නායි කණ්ඩායමේ පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ කොල්කටා පිතිකරුවන්ගෙන් පහර කෑමට ලක් වූ අතර ෂේන් වොට්සන් ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගත්තේය.

No comments